" අහ්හ්හ්හ් "
දරුවත් පපුවට තුරුල් කරන් ඉස්සරහින් එන බස් එක දිහා ගල් ගැහිල වගේ බලන් උන්න මාව පාරෙන් එහාට වීසි වෙලා ගියා.. වීසි උනාමත් නෙමේ.. කාගෙමහරි හැඩි දැඩි අතක් මාව ලමය එක්කම ඒ පපුවට අරන් පෙරලුනා..උනේ මොකක්ද කියන එකවත් මට හිතාගන්න බැහැ. කවුද කියන්න දන්නෙ නැති උනත් මං තාමත් හිටියෙ ඒ කෝට් එක යටින් ඇදපු සුදු ශර්ට් එක මිරිකගෙන.. ඒ පපුවට මූන තද කරගෙන..
" අ.ප්ප.ත්.ති "
කෙල්ලගෙ කට හඩ ඇඩුම් බරකින් ඇහෙනවත් එක්කම මං ඔලුව ඉස්සුවා.. ඔලුව උස්සලා බලපු පලවෙනි බැල්මෙන්ම මං දැක්කෙ ඒ මූන.. ඒ ඇස්.. මොන හේතුවටද මන්දා මේ මනුස්සයගෙ ඇස් දෙවනි වතාවටත් මගෙ පපුවට මොකක්දෝ කෙරුවා.. දරුව එහෙන් කතා කරනවා.. මට මෙහෙන් නැගිටගන්න බෑ.. මොකද මං තාමත් ඉන්නෙ ඒ අත් වලට මැදි වෙලා.. ඒ ඇසුත් බලන් හිටියෙ මගෙ දිහා.. මං බලාගෙන එයාගෙ බැල්ම මගෙ මූණ පුරා දිව්වා... ඒ මූණ එක තත්පරේට වෙනස් උනා... ඒක කේන්තියක්ද මොකක්ද කියන්නනම් මට හිතාගන්නම බැරි උනා...ඒ මදිවට මේ මනුස්සයගෙ පපුව ගැහෙන වේගෙට දැන් ගැලවෙයිදෝ කියලත් මට හිතෙන්න ගත්තා.
" අ.ප්පත්ති "
කෙල්ල ආයෙ ආයෙ කතා කරද්දිවත් එයා නෙමෙයි දරුව දිහා බැලුවෙ.. මේ මනුස්සයා මොන ලෝකෙක ඉන්නවද.. වශී වෙලා වගේ බලන් ඉන්නෙ ඇයි මගෙ මූනෙ පෙරහැරක්වත් යනවද? හිතින් හිතමින් මං හැදුවෙ නැගිටින්න.. බෑ දෙයියන්නෙ ගලි බවුසරයක් වගේ අතක් මාව ඒ ඇගට බදන් ඉද්දි කොහොම කියලා මං නැගිටින්නද.. ඒත් එකපාරටම මට ඇහුනෙ යොහාන්ගෙ කටහඩ.
" අභී!!! "
උගෙ කටහඩට හැරිල බලන්නවත් මට හම්බුන් නෑ.. ඌ ඇවිත් මාව නැගිට්ටෙව්වා නැගිට්ටවලා ඇදල අරන් මාව යොහාන් එහෙම්මම බදාගත්තා.. උගෙ පපුවත් ගැහෙනවා.. ඒක මට දැනෙනවා.. යොහාන් බය වෙලා.. මාව බදාගත්ත ඌ මගෙ පිට අතගානවා මගෙ ඔලුව අතගානවා..
" උඹ හදන්නෙ මාවත් මරවන්න අභී "
මාව බදාගෙනම යොහාන් කිව්වා.. මං බලාගෙන අර මනුස්සය එහෙම්මම නැගිටිනවා.. නැගිටලා කෙල්ලව වඩාගන්නවා.. ඒත් ඒ ඇස් යොහාන් දිහා බලලා ආයෙ මගෙ දිහා බැලුවා.. ඒ බැල්ම මොකක්ද කියන්න තේරෙන් නැති උනත් යොහාන් මාව බදාගෙන ඉන්න එක මට ඒ බැල්මත් එක්ක අපහසු උනා.. හිත කිව්වෙම දැන් ඔය බදන් හිටිය ඇතී කියල වෙද්දි මං උගෙන් හෙමින් සීරුවෙ ඈත් උනා..
" චූටි දූ... මො.මොක.ද මේ.. අහ්හ් රි.දෙනවා නුරේ.න්ද්‍ර ඇයි මේ..?"
තව ගෑනු කෙනෙක් ඇවිත් කලබලෙන් අර මනුස්සයගෙන් ඇහුවම අම්මෝ ඒ මනුස්සයගෙ ඇස් වලට යක්සාවේස උනා මං බලන් හිටියා... භාශ්වරසිංහ මේ තරම් වසයිද?
" දරුවා පාරට පනිනකම් තමුසෙ මොන ලෝකෙද හිටියෙ අමන්දා? "
ආ.. ඒ ඒ ලමයගෙ අම්මද කොහෙද.. ලමයව ආයෙ බිමින් තියපු එයා ඒ ගෑනු කෙනාගෙ අතක් කැඩෙන්න තරම් තදට අල්ලන් හිටියා.. ඒ ගෑනු කෙනාගෙ ඇස් වලට ඉබේටම කදුලු පිරුණා. පව්.
" අපිට වැඩක් නෑ අහී අපි යමු "
" ඒ දෙන්නා රන්ඩු වෙයි. බලන්න අර දරුවා ඒ දෙන්නගෙ මූන දිහා මාරුවෙන් මාරුවට බලන විදිහ. පව් යොහාන් කෙල්ල බය වෙලානෙ."
මගෙන් අතින් ඇදන් අරූ මාව එක්ක යන්න හැදුවත් මට නෙවේ යන්න හිතුනෙ.. මහ එවුන් දෙන්නම රන්ඩු කරනවා.. අර චූටි කෙල්ල බය වෙලා කියලා දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් පේන්නෙ නැහැනෙ.. දුකෙන් ඒ දරුව දිහා බලන් ඉද්දි ඒ චූටි ඇස් එක්ක ආයෙම මගෙ ඇස් පැටලුනා.. අනේ මෙච්චර වෙලා නොතිබ්බ හිනාවක් කෙල්ලට මාව දැකලා මූනට ඇදුනා.. කෙල්ල එහෙම්මම මගෙ ලගට දුවන් ආවා.. ඒත් අර අම්මයි අප්පයි දැක්කෙ නෑ.. මාර දෙමව්පියෝ තමයි.
මගෙ ගාවට දූවලා ආව කෙලි පොඩ්ඩ මගෙ කකුලට තට්ටුවක් දාලා මට පහත් වෙන්න කිව්වා.. කෙල්ලගෙ උසට හරියන්නනම් මං පහත් වෙලා කොන්දත් නවන්න ඕනා. මං එහෙම්මම එයා ගාවට පහත් උනා..
" උයාත තූල වෙලා "
මගෙ වැලමිට ලග පෙන්නමින් කෙල්ල කිව්වම මට කලින් යොහාන් පහත් වෙලා මගෙ අත දිහා බැලුවා.. ඇත්ත.. ලේ එන්නම හීරිලා ගිහින්..
" ඒක පොඩි තුවාලයක්නේ.. චූටි තුවාල ගනන් ගන්න හොද නෑ.. අපි ස්ට්‍රෝන්ග් වෙන්න එපෑනෙ "
" මාත් ඉත්තෝන්ග්. ඇබැයි උයාට සිදෙනාද හුම්ම්.. මාත් පූහ්හ් තීලා තිම්බොත් උයා තාඩා ඉත්තවද? "
නර්සරි එක ඇතුලෙදි කෙල්ලගෙන් මං අහපු ප්‍රශ්නෙම අනේ පැහිච්ච ආච්චි කෙනෙක් වගේ කෙල්ල ආපිට මගෙන් ඇහුවා.. මට එයාව බදාගන්න ඕනෙමයි කියල හිතුනා.
" ම්ම්හුක්.. ඔයා මං එක්ක තරහ වෙන් නැත්තම් මං ඔයාව චුට්ටක් බදාගන්නද? "
ඇසුත් හීනි කරන් හිනා උන මං කෙල්ලගෙන් එහෙම ඇහුවා. අහපු පමාවට අනේ ඒ චූටි අත් මගෙ කරේ වටේ එතුනා.. බේබි කොලොන් සුවදේ බෑ.. මාත් ගාන්නෙ එව්වනෙ. මගෙ අල්මාරිය පිරෙන්නම තියෙන්නෙත් බේබි කොලොන් බේබි සෝප්.. ඔය එක එක කොච්චර දේවල් ආවත් බේබි ප්‍රොඩක්ට්ස් වලට ගහන්න කිසි දේකට බෑ..
" ඔයාගෙ නම මොකක්ද? "
මං ඇහුවෙ ඒ කම්මුලක් මිරිකලා..
" දාන්වී බයිලවසිංහ "
කෙල්ල අමාරුවෙන් වචන හසුරවමින් කිව්වම මට එකපාරට හිනාවක් පැන්නා.. බයිරවසිංහලු. කටත් උල් කරන් මං බැලුවෙ කෙල්ලගෙ අප්පච්චි දිහා.. බහිරවයෙක්ම තමා..
" ජාන්වී භාශ්වරසිංහ "
හිනා වෙලා මං ජාන්වි බබාට කිව්වම කෙල්ල ඔව් කියන්න හිනා වෙලා ඔලුව වැනුවා...
" ජාන්වී එන්න යමු "
කෙල්ල එක්ක් හුරතල් වෙවී උන්න මාව ගැස්සිලා ගියා. වෙන මුකුත් නිසා නෙමේ මහ බහිරවයා ඇවිත් මගෙ අතින් අර ලමයව උදුරල වගේ අරගත්ත නිසා.. මගෙ දිහාට බැල්මක්වත් නොදුන්න භාශ්වරසිංහ ලමයත් අරන් ආයෙම නර්සරි එකට ගියා වගේම මාත් යොහාන් එක්ක ආයෙම ඇතුලට ආවා...
.......................
" ෆොටෝ එක ගත්තට පස්සෙ පේරන්ට්ගෙ නමයි ෆෝන් නම්බර් එකයි ලියාගනින් හරිද.. ෆොටෝ එක ඕනෙ කොයි සයිස් එකෙන්ද කියලත් අහලා ඒකත් ලියාගනින්. "
දැනටමත් පෝලිම් ගැහිල ඉන්න පොලිම දිහා බලලා මං යොහාන්ට කීවා.. ෆොටෝ ගත්තා වගේ නෙමේ මෙව්වා ආයෙ දෙද්දි අදාල ෆොටෝ එක ගාව නම ගහන්න එපැයි.
" ඔව්වා සේරම එක රිසිට් එහෙකට දාන්න පුලුවන් රිසිට් බුක් එක මං ගෙනාවා.. උබ ගනින්කො මං රිසිට් ලියන්නම් "
යොහාන් කිව්වම හරි කියන්න ඔලුව වනපු මං ෆොටෝ ගන්නම හදල තිබ්බ ෆොටෝ බූත් එක ගාව දරුවා එක්ක පේරන්ට්ව තියමින් ෆොටෝ ගත්තා.. දන්නෙම නැතුව පැය දෙකකටත් කිට්ටු වෙන්න ආවා වෙද්දි මං එහෙම්මම ආයෙම කැමරාවට ඇහැ තිබ්බෙ ඊලගට ආව කෙනාගෙ ෆොටෝ එක ගන්න හිතන්.. ඒත්,
ඒ එයා...ජාන්විව මැදින් තියන් එයා හිටන් හිටියා. ලමයට මෙහා පැත්තෙන් සාරියක් ඇදගත්ත ඇර ගෑනු කෙනා හිටගෙන ෆොටෝ එකට හිනාඋනා.. එකපාරට මගෙ ඇස් ගැස්සිලා ගියත් මං ෆොටෝ එක ලස්සනට ගත්තා.. ඒත් ඇයි ඒ ඇස් මගෙ දිහා බලනව වගේ මට හිතෙන්නෙ? ඔව් මං ෆොටෝ එකනම් ගත්තා..
" අභියා.. "
ඒත් ෆොටෝ එක ගත්තට පස්සෙත් මං ඇයි ලෙන්ස් එක සූම් කරලා ඒ මනුස්සයගෙ මූන දිහා බැලුවෙ? ඇයි මං ඒ ඇස් දිහා ඒ තරම් උවමනාවෙන් බැලුවෙ...
" අභී උබට කං ඇහෙන් නැද්ද.. "
කල්පනාවෙ හිටපු මට කතා කලේ යොහාන්. එහෙම්මම ගැස්සිලා වගේ මං ඌ දිහා බැලුවම ඌ ඇයි අහන්න වගේ ඒ ඇස් වලින් ඉගි කෙරුවම මුකුත් නෑයි කියල මං එහෙම්මම ටීම් එකේ ලමයෙක්ට ඉතුරු ෆොටෝස් ටික ගන්න කියලා කැමරාව දුන්නා.. මං බලාගෙන රිසිට් එක ලියන්න අර කෙල්ලව වඩාගෙන භාශ්වරසිංහ අපේ ලගට එනවා.
" සර්ගෙ නම "
රිසිට් එක අතට අරං යොහාන් ඇහුවෙ භාශ්වරසිංහගෙන්.
" නුරේන්ද්‍ර අර්ජුන් භාෂ්වරසිංහ "

( නුරේන්ද්‍ර අර්ජුන් භාෂ්වරසිංහ )
" සයිස් එක? එන්ලාර්ජ් කරන්නත් පුලුවන් නැත්තම් මේ තියෙන්නෙ සයිස් චාර්ට් එක.. සර්ට කැමති එක බලල කියන්න. "
මම දැන් ටීම් එකේ අනික් කොල්ල ෆොටෝ ගන්න තැනින් හිටන් උන්නා.. ඒත් මගේ කන තිබ්බෙ යොහාන්ගෙ දිහාවට.. සමහර ලමයි ෆොටෝ වලට ඉන්නත් බෑ කියනවා. අඩනවා.. පුංචි දරුවන්ට මොනව කියල තේරෙනවද.. ඉතින් මං එයාලගෙ අවදානෙ කැමරාව පැත්තට ගන්න නොකරපු දෙයක් නෑ.. අත් උස්ස උස්ස උඩ පැන පැන අත් වන වන මං ලමයින්ව කොහොමහරි කරලා කැමරාව පැත්තට හරවගත්තා..
" සර්.. සයිස් එක? "
යොහාන් ආයෙම වතාවක් අර මනුස්සයගෙන් අහනව ඇහුනම මං එහෙම්මම ඒ පැත්ත බැලුවා.. ඒත් ඒ වෙද්දිත් ඒ ඇස් තිබ්බෙ මගෙ දිහාවට..
" සර්? "
උන දේ තේරුන යොහාන් ආයෙම සද්දෙට කතා කරද්දි භාශ්වරසිංහ මං බලගෙන සයිස් චාර්ට් එකෙන් මොකක්දෝ සයිස් එකක් පෙන්නනවා.. ඒක බලපු යොහාන් රිසිට් එක ආයෙ ලියන්න ගත්තෙ ලමයයි වයිෆුයි එක්ක භාශ්වරසිංහ යන්න යද්දි..
.......................
" ඌට වැඩක් නෑනෙ මගෙ දේවල් දිහා බලන්ඩ"
ටික වෙලාවකින් කන්න කියලා හදද්දි යොහානයා කිව්වෙ නෝක්කාඩුවට වගේ.. ඕං ඕං පටන් ගත්තා..
" දැන් මොනාද උබේ දේවල් "
" ඇයි අනේ.. උඹ මගේනේ "
මගෙ නහයට තට්ටුවක් දාලා යොහාන් කිව්වම මං ඌට ටොක්කක් ඇන්නා..
" මං කවද්ද උබේ උනේ.. මං අකිල අයියගෙ "
" අනේ අනේ මේ.. අකිලයියා අද දවසටම තොට කතා කරද කියපංකො "
" එයා වැඩනේ යොහාන්. එයා එහෙ ඒ තරම් නැහෙන්නෙ එයාගෙයි මගෙයි අනාගතේ හදන්නනේ බං. ඒ නිසා කෝල් එකක් නොගත්තා කියලා මං තරහ වෙන්නෑ.. අනික එයා නිදියන්න යන වෙලාවට මට අරන් තමා යන්නෙ. "
අහිංසක විදිහට හිනාවෙලා මං කිව්වම යොහාන් මගෙ දිහා බලන් හිටියෙ අනුකම්පාවෙන් වගේ.. එහෙම්මම මගෙ ඔලුව අතගාපු යොහාන්,
" උබ හරි පව් අභී.. ඔච්චර අහිංසක වෙන්නත් එපා.."
යොහාන් කීවම මං හිනා උනා..
" මං කැන්ටින් එකෙන් බොන්න මොනාහරි අරන් එන්නම්. "
" සල්ලි මගෙ පර්ස් එකේ ඇති ගනින්. "
යොහාන් කිව්වෙ උගෙ පර්ස් එක පෙන්නලා.. මං නිසා මෙච්චර කට්ට කන කොල්ලගෙන් සල්ලි ගන්න මට පිස්සුද.. පව්. ඌ උගෙ වැඩත් දාලා මං වෙනුවෙන් මෙහෙට ආවෙත්.
" සල්ලි තියනවා. ඉදපංකො මං අරන් එන්නම්"
ඌටත් එහෙම කියාගෙනම මං කැන්ටින් එකට ඇවිත් බීම බෝතල් හතරක් ගත්තා.. අරූටයි මටයි අපේ අනික් කොල්ලො දෙන්නටයි.. එහෙම්මම ආයෙ එන්න ආව මගෙ ලේන්සුව එතනම තිබ්බ නා ගහ ගාව බිමට වැටුනා.. මං දැන් කොහොමද මේක ඇහිදගන්නේ.. බීම බෝතල් දෙක දෙක අත් දේකෙම මගෙ.. කවුරුත් පේන්නත් නෑ..
මං විනාඩි පහක් විතර එහෙටත් කැරකුනා.. මෙහෙටත් කැරකුනා.. ඒක මං ආසම ලේන්සුවත් එක්ක.. බේබි කොලොන් හුගක් දාලත් එක්කනෙ මං ගෙනාවෙ..
" ආ "
ගැස්සුනා.. මාව ගැස්සුනා විතරක් නෙමේ ඒ කටහඩ ඇහුන පාරට හැරුන විදිහට මගෙ අතේ තිබ්බ බීම වලින් ටිකක් මගෙ ඇගෙත් හැලුනා.. මං එහෙම්මම ඒ රුව දිහා බැලුවා.. වෙන කවුරුත් නෙමෙයි මට ලේන්සුව දික් කරගෙන ඒ හිටියෙ භාශ්වරසිංහ.
" ආහ් මේ.. ත්.තැන්කියූ.. ඒත්.. තරහ නැත්තම් ඔයාට පුලුවන්ද ඕක මගෙ සාක්කුවට දාන්න "
ලාවට හිනා වෙලා මං ඒ මනුස්සයට කිව්වත් ලේන්සුව දිහා බලපු එයා නොහිතුව වෙලාවක කරපු දේට මගෙ ඇස් නලලට ගියා.. උඩට ගත්ත හුස්ම ටික මට පහලට දාගන්න බැරි උනා..
ඒ ඇගිලි තුඩු මගෙ ඉන හරියෙ ගෑවෙන වාරයක් ගානෙ මාව හොල්මං වෙලා ගියා.. මගෙම ලේන්සුවෙන් මගෙ ඇගේ හැලුන බීම එයා පිහදැම්මා.. ඒකත් මගේ ඉන ගාව.. හැබැයි කේන්තියෙන්ම.
" ස්.සර් "
කොච්චර උනත් මට අපහසුතාවයක් වගේ නිසා මං එයාට සර් කියල කතා කෙරුවම එයා මගෙ දිහා බැලුවා.. එහෙම්මම මගෙ සාක්කුවට එයා ලේන්සුවත් දැම්මා..මං හැදුවෙ ඒ පමාවට යන්න. කිව්වට විස්වාස කරන්න ඒත් ඒ හැඩි දැඩි අතින් මගෙ ඉන මිරිකලාම අල්ලලා එයා මාව නැවැත්තුවා..
" වැඩ කරන්නෙ නර්සරි එකකනම්.. සෙනග අතර ඔට්ටු වෙන්න වෙනවා කියලත් දන්නවනම් අදින ඇදුම ගැන මීටවඩා සැලකිලිමත් උනොත් හොදයි."
මගෙ ඇදුම කේන්තියෙන් වගේ පාත් කරලා එයා කීවෙ සද්දෙට..
"...."
" තේරුනාද? "
හොලමනක් දැක්ක වගේ මං බලන් ඉද්දි එයා ආයෙම සැරයක් මගෙන් ඇහුවෙ කේන්තියෙන්ම.
" ත්.තේරුණා සර් "
" ම්න්. දැන් යනවා "
එහෙම කියලා මගෙ ඉස්සරහින් එයා පැත්තකට උනා වගේම තවත් තත්පරයක්වත් නොයිද මං එතනින් හීයක වේගෙන් ආපහු එන්න ආවා..ඒ මොකක්ද යකෝ ඒ උනේ..
.......................
" මොකද උබට වෙලා තියෙන්නෙ.. නිකන් යකෙක් දැක්කා වගේනෙ උබ හැසිරෙන්නෙ.."
අරුන් ටික ගෙනාව බීම බීලත් ඉවරයි. ඒත් මගෙ බීම එක තාමත් එහෙම්මමයි. මගෙ ඔලුවෙ මැවෙන්නෙම ඒ ඇගිලි පහට මගේ ඉන මිරිකුන විදිහ.. එයාට මොකද මං කොහොම ඇන්දත්. ඇදුම් මගේනම් අදින්නෙත් මමනම් එයාට වැඩක්ද. ඒත් මට ඔය ටික ඒ මනුස්සය ඉස්සරහ කියාගන්නනෙ දෙයියනේ බැරි.. යොහාන්ට කට ගහන මගේ කට ඒ ඇස් ඉස්සරහ මොන මගුලට ගොලු වෙනවද මන්දා..
" අභී උබ මගෙන් ගුටි කනවා ආ.. "
" ඇයි බං ඇයි? "
" කියපිය මොකද උනේ.. උබ ඔහොම ඉන්න හේතුව මං අහන්නෙ. ඇයි උබේ අකිල පයියා මොනාහරි කිව්වද උබට? "
කිසි ගානක් නැතුව අර අහිංසක මනුස්සයටත් යොහාන් කුනුහර්ප කිව්වම මං ඌට පාරක් ගැහුවා..
" කුනුහර්ප කියන්න එන්න එපා.. "
" හරි සුදූ මොකද උනේ කියනවකො "
" එහෙම මුකුත් උන් නෑ යොහාන්. මගෙ ඔලුව රිදෙනවා.. "
මං කිව්වම කොච්චර උනත් අරූ මග් ගාවට ඇවිත් මගෙ නලලට අත තිබ්බා...
" මහන්සියට වෙන්න ඇති. දැන් කොහොමත් ඉවරයිනෙ. අපි ගෙදර යමු. "
යොහාන් කිව්වම මාත් ඔලුව වැනුවේ හා කියන්න. සේරම ඉවර වෙලා මං ඌත් එක්ක එහෙම්මම ගෙදර එන්න ආවෙ කැන්ටිම ලග උන දේ මට මැවි මැවී යද්දි..
.......................
" කැලෑ පනින්න කලින් පන්සලට ගිහින් යමු. ලොකු අම්මා පංසල් ගියාද? "
යොහාන් ඇහුවෙ මගෙ දිහා බලන්.. අද සිකුරාදා.. නර්සරි නිවාඩු තියෙන දවස් දෙක සෙනසුරාදා ඉරිදා නිසා.. මම ඒ දවස් දෙක මගේ විශේෂ වැඩ වලට වෙන් කරගත්තා.. විශේෂයි කිව්වට එහෙම ලොකූ දේකුත් නෙමේ.. ඔය නර්සරි එකේ වැඩට යන්නත් කලින් ඉදන්ම පුරුද්දක් විදිහට මං කැලෑ වලට ගස් කොලන් අතරට යන්න පුරුදු වෙලා හිටියා.. සමහර දවස් වලට මං කැමරාවත් තියන් වරු ගානක් ඉන්නවා ඔය සමහර සත්තුන්ගෙ පිංතූරයක් දෙකක් ගන්න..
මේ අහස මේ පොලව.. ගස් කොලන්.. සතා සිවුපාවා... වැස්ස කියන්නෙ මගෙ ජීවිතේ තවත් කොටසක්.. මේකට යොහාන් කියන්නෙ ට්‍රැවල් කරනවා කියලා.. ඒත්.. අනේ මන්දා.. ඊට එහා බැදීමක් මට ස්වභාවධර්මය එක්ක තිබුනා..
" හ්ම්ම් ලොකු අම්මා පංසලේ "
මං යොහාන්ට උත්තර දුන්නා.. මගෙ ලොකු අම්මගෙ පුංචි රස්සාව. පංසල ගාවම එයා මල් විකුනනවා..අපි කැලෑ වදින්න කලින් හැමදාම පංසලට යන්න පුරුදු වෙලා හිටියා.. කොහොමින් කොහොමහරි අපි පංසලටත් ආවා.. යොහාන් උගෙ බයික් එකත් පාර්ක් එකේ නතර කරලා දෙන්නා එක්කම සෙරප්පු ගලවලා පංසලට ආවෙ රත් උනු පාරෙ උඩ පැන පැන.. ඇයි ඉතින් කකුල් පිච්චෙනවනේ...
" අයෝහ්හ් මගෙ සුද්දගෙ කකුල් පිච්චෙනවානේ පැට්ටො "
අරූ මට කිව්වම උගෙ හැටි දන්න මං ඔය කතා වලට ඇහුම් කන් නොදී මගේ පාඩුවේ එන්න ආවා..
" මේ මල් කීයද නෝනා.. "
ලොකු අම්මගෙ කඩේ ලගටම ගිහින් මං ඇහුවාම මාව නොදැක්ක ලොකු අම්මව ගැස්සිලා ගියා.. ආයෙම ඒ මූණට හිනාවක් ආවා..
" ආ දෙන්නා ආවද? කොහෙද අද ඔය යන්න හදන්නේ? "
" අද අපි සිංහරාජෙ යනවා "
" ගියාටනම් කමක් නෑ.. ඔය සත්තු සර්පයි එක්ක ඔට්ටු වෙද්දි ප්‍රවේසමෙන්.."
නෙලුම් මල් දෙක තුනක් ගත්ත ලොකු අම්මා ඒක එක මිටකට බදින ගමන් මට කිව්වා..
" අපෙන් කරදරයක් නැත්තම් ඔය එක සතෙක්ගෙන්වත් ආපිට අපිට කරදරයක් නෑ ලොකු අම්මා... බය නොවී ඉන්නකො. අපි දෙන්නා පරිස්සමට ගිහින් පරිස්සමට එන්නම් "
නෙලුම් මල් පොකුර ලොකු අම්මගෙ අතින් ගත්ත මං එහෙම කිවුවම ලොකු අම්මා හිනා උනා.. හොදටම අවුවයි පිච්චෙනවා අප්පා.. මගේ මල් මිට අරන් මං ටිකක් ඉස්සරහට ගිහින් හිටියෙ යොහාන් එනකම්.. කකුල් පිච්චෙන නිසාම මාත් හිටියෙ එහෙටයි මෙහෙටයි පැන පැන..
" අම්මේ.. මේ මල් කීයද? "
ලොකු අම්මට ද බිස්නස් සරුයි වගේ.. යොහාන්ගෙ මල් පොකුර බදින එක පොඩ්ඩකට නවත්තලා ආව ගෑනු කෙනාට ලොකු අම්මා උත්තර දුන්නා.. ඒත් මං නෙවේ ඒ දිහා බැලුවෙ. මොකද මං හිටියෙ කකුල් පිච්චෙන නිසාම කකුල් මාරු කර කර..
" මල් මිටක් දෙසිය පනහයි නෝනා "
" හරි. එහෙනම් අපිට මල් මිටි දෙකක් දෙන්න "
මං ඒ දිහා බැලුවා.. කව්දෝ වැදගත් නෝනා කෙනෙක්.. පිටිපස්ස හැරිල නිසා මූන නොපෙනුනත් එයා වැදගත් පාටයි. මං බලාගෙන ලොකු අම්මා ඉක්මනින් මල් මිටි දෙකක් බැදල ඒ නෝනට දෙනවා..
" අභී.. මොකද සුදූ ඔය කඩි කෑවා වගේ උබ දගලන්නේ.. "
ලොකු අම්මගෙන් මල් මිට අතට අරන් යොහාන් මගෙන් ඇහුවා..
" කකුල් පිච්චෙනවා අනේ "
" හරි ඉක්මනින් යමු "
යොහාන් කිවුවම කොහොමින් කොහොමහරි මම ඌ එක්ක පංසලට ආවා.. අපි මල් ආසනය ලගටත් ඇවිත් මල් තියලා බුදුන් වැන්දා වගේම ඒ ටිකකින්ම මට මොකක්දෝ හුරු පුරුදු සුවදක් මහෙ එහාපැත්තෙන්ම දැනුනා.. ඒත් භාගෙට වදින්න බැරි හන්දම මං ඇස් පියන් සම්පූර්ණයෙන්ම ගාථා කියලා වැන්දා... වැදල ඉවර උන ගමන්ම මං බැලුවෙ මගෙ එහාපැත්ත..
කවුරුත්ම නෑ..
ඉන්නෙ පංසලේ කියලා නෑ මට ඒ රුව මතක් උනා.. ඒ ඇස් මතක් උනා.. නිතරම මතක් උනත් මං ඒ ගැන වැඩිය හිතන්න ගියෙත් නෑ..
" මං පහන් පත්තු කලා.. උඹ ගිහින් පත්තු කරල වරෙන් "
යොහාන් කීවෙ මගෙ අතට තෙල් බෝතලේ එක්ක පහන්තිර පැකට් එකයි ගිනි පෙට්ටියයි දෙමින්. ඌට හා කියන්න ඔලුව වනපු මං ආවෙ පහන් ටික ලගට.එහෙම්මම පහනක් පත්තු කරපු මම වැදලා ප්‍රාර්ථනාවක් කෙරුවා.. මං දන්නවා.. දේවල් ඉල්ලන්න ඕන තැනක් නෙමෙයි පංසල කියන්නෙ.. හරිනමපි අතාරින්නයි පුරුදු වෙන්න ඕනෙ.. ඒත් මං මගෙ සතුට ප්‍රාර්ථනා කෙරුවා.. මගෙ ජීවිතේට සතුට ගෙනත් දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එක්කම මම පත්තු කරපු පහන ආව හුලගට නිවෙන්න ගියා..නෑ.. ඒත් නිවුන්නෑ.. මගේ අත් දෙක එක්ක තව අත් දෙකක් ඒ පහන නිවෙන්න නොදී කවර් කෙරුවා..
භාශ්වරසිංහ. මටත් වඩා උසට මගෙ පහන අල්ලන් හිටියෙ භාශ්වරසිංහ. ලා නිල් පාට කලිසමට සුදු පාට පපුව ලගට වෙනකම් ඕපන් වෙලා තිබ්බ අත් දෙකත් නවපු ශර්ට් එකක් ඇදන් ඒ හිටියෙ එයා. මගෙ පහනට එහා පැත්තෙන්ම එයත් පහනක් පත්තු කෙරුවා. පුදුමෙ කියන්නෙ එයා ඒ සේරම කරනකම් මං බලන් හිටියා.. මං අර කිව්වත් වගේ ඒ ඇස් ගාවදි මාව ගොලු වෙලා ගිහින්... ඇයි දෙයියනේ මට මේ මනුස්සයව යන යන තැන පේන්නෙ? එහෙම හිතපු මං මගෙ ඇස් දෙක පිහලත් බැලුවා.. ඒ පමාවට එයා අහක බැලුවා.. එයා ඒ හිනා උනාද? අහක බැලුවත් මොකද මට හිතුනෙම එයා හිනා උනා කියලා.. එහෙම්මම මං එතනින් එන්න හැදුවත් එයා ඒ ශනික එයා පත්තු කරපු පහනෙ තෙල් ටිකක් ඒ ඇගිලි තුඩු වලට අරන් ඇසුත් ජිල් බෝල කරන් ඉන්න මගෙ ඔලුවෙ ගෑවා..
දෙයියනේ මං ආයෙත් ගොලු උනා... මගෙ ඔලුවෙ තෙල් ගාපු එයා යන්න ගියෙ හිනාව ඒ තොල් අතර හිර කරන්.. පිස්සුද කොහෙද.. මගෙ පහන ගාවින් එයා පහන තිබ්බා.. ඒකටනම් කමක් නෑයි කියමුකො. එයාගෙ පහනෙන් තෙල් අරන් මගෙ ඔලුවෙ ගාන්න එයාට වැඩක්ද? ඒත් ඇයී මට ඔය ටික එයාටම කියාගන්න බැරි උනේ...
" උයත් පත්තල් ආවත? "
පහන තියලා යොහාන් ලගට එන්න හදපු මගෙ ඉස්සරහට ආවෙ ජාන්වි බබා..
" ඔව්නෙ.. මාත් පංසල් ආවනේ.. "
" මං ඔයාත ඒන්ජල් කීන්නත? "
මගෙ කම්මුලට හාදුවක් දෙමින් කෙල්ල ඇහුවම මං හුරතලේට මගෙ තොල් නොපිට පෙරලගත්තා..
" ම්ම්හුක්.. ඇයි ඒ මට ඒන්ජල් කියන්නෙ..?"
" උයා ගුඩාආආආක් තත්තනයි. අයි ලයිත් යූ වෙලි මත් "
" කෝ පැටියො ඔයාගෙ අම්මා.. ලමයි මෙහෙම තනියම ගියාම හොරු අරන් යනවනේ..අම්මි ලගම ඉන්න එපැයි "
වටපිටාව බලන ගමන් මං කෙල්ලගෙන් ඇහුවම කෙල්ල ඒ චූටි අත දික් කරලා එයාගෙ අම්මිව පෙන්නුවා.. මේ අර ලොකු අම්මගෙන් මල් ගත්ත කෙනානෙ.. හරිනෙ ඉතින්.. මං එවලෙ ඒ නෝනගෙ මූන දැක්කෙ නෑනෙ.. එයා ගාතා කියනවා.. මං බලාගෙන ඒ එක්කම එතනට භාශ්වරසිංහ ආවා... ඒත් මාව දැක්කෙ නෑ..
" අල ඉන්නෙ අම්මි අප්පත්තී.. "
එහෙම කියාගෙනම කෙල්ල මගෙ ඇගට පැන්නෙ මං අත් දෙකෙන්ම කෙල්ලව අල්ලගද්දි.. ඒ එක්කම මගෙ කර වටෙන් අත යවලා එයා ඒ චූටි ඔලුව මගෙ බෙල්ල අස්සෙ ගහගත්තම මට දැනුනෙ කියාගන්න නොතේරෙන හැගීමක්..
" ඇයි මැණික මේ.. ම්ම්ම්.. ඇයි මේ.. "
" ම්ම්හ්හ්ක් මත දෝ මතයි "
කෙල්ල කිව්වම අනේ මට මේ කෙල්ල ගැන කියාගන්න බැරි ආදරයක් හිතට දැනුනා.. එහෙම්මම ඒ පිටට තට්ටු කර කර මං දරුවව නිදි කරද්දි මං හිතන්නෙ නිදි මත වැඩි කමටද කොහෙද කෙල්ලට ඒ පමාවට නින්ද ගියා..
යන්නත් පරක්කු වෙන නිසාම ලෝභ කමින් උනත් මට දරුවව දෙන්න වෙද්දි මං ඒ දෙන්නා ලගට කිට්ටු උනා..
" මැ.ඩම් "
භාශ්වරසිංහ මාව දැකලා ඒ ඇස් ගැස්සුනත් එයා දිහා නොබලා මං එයාගෙ නෝනට කතා කෙරුවා..
" අහ්හ්.. මේ ඔයා නේද අපෙ බබාගෙ නර්සරි එකේ photographer? "
හිනාවෙලා ඒ මිස් කිව්වම මං ඔව් කියන්න ඔලුව වැනුවා..
" ඒක තමා.. මෙයාගෙ වැඩේ එදා දවසම ඔයා ගැන කියවපු එක.. අනේ සමාවෙන්න දූ කරදර කලාද ඔයාට? "
" අනේ නෑ මිස්. මාව අදුරගෙන මගෙ ලගට ආවා.. පස්සෙ දොයි මතයි කිව්වම මං නිදි කරා.. "
" අනේ.. තැන්කියූ.. කෝ දෙන්න එයාව "
හිනා වෙලා කිව්ව මිස් මගෙ අතින් දරුවව ගන්න ගියත් භාශ්වරසිංහ ඊට ඉස්සර උනා..
" මං ගන්නම්. දෙන්න "
එහෙම කියමින් එයා මිස්ට නොදී ලමයව ඒ අත් වලට ගත්තෙ ඒ එක්කම යොහාන් එද්දි..
" අභී.. මාර කේ.. අහ්හ් මේ මිස්ටර් භාශ්වරසිංහනේ.. "
මොනවදෝ කියන්න ආව යොහාන් ආයෙම භාශ්වරසිංහව දැකලා අතට අත දීලා කතා කෙරුවා..
" කියන්න ආව එකත් අමතක උනානෙ.. මට ගෙදර යන්න වෙනවා අභී. අම්මට ආයෙ අමාරු වෙලාලු.. හොස්පිට්ල් ගෙනිච්චා කියල කිව්වෙ.. සිංහරාජෙ උබට යන්න වෙන්නෙ තනියමනෙ.. "
යොහාන් කිව්වම මගෙ මූන දැන් අඩන්න වගේ.. ගමන කැන්සල් කරන්නත් බෑ.. ඒත් උගෙ අම්මා ලෙඩින්නම් ඌව එක්ක ගිහිනුත් බෑ...
" අනේ "
" සිංහරාජෙද ඔයාලත් යන්න හිටියෙ? අපිත් මේ එහෙ ට්‍රිප් එකක් යන ගමන්.. තනියම යන්න ඕන නෑනෙ යමු අපි එක්ක. නේද නුරේන්ද්‍ර.. "
ඒ එක්කම ඒ මිස් කිව්වම එයත් ඔලුව වැනුවා.. මං යොහාන් දිහා බැලුවා.. හරියට මං යන්නද අහන්න වගේ..
" බය වෙන්න එපා ලමයො.. අපි ඉන්න තැනම ඉමු.. අපි යන්නෙත් ඒ කිට්ටුව තියන විලා එහෙකට.. "
ඒ මිස් ආයෙ ආයෙම කිව්වා.. ඒත් මං බලන් හිටියෙ යොහාන් දිහා.. අකමැත්තෙන් වගේ ඌ අවසානෙදි හා කියන්න ඔලුව වැනුවා..
" ම්ම්ම් එහෙනම් ඔයා මේ මිස්ලා එක්ක යන්න.. හෙට සෙනසුරාදානෙ. මං ඉරිද හවසට එන්නම් එක්කන් යන්න "
" කරදර වෙන්න එපා.. අපිත් එන්නෙ ඉරිදට.. මෙයාව අපි පරිස්සමට ඔයාට ගෙනත් දෙන්නම් ගෙදරටම "
මිස් ආයෙම කිව්වම මගෙ ඇස් ගියෙ එයා දිහාවට.. ඒත් ඒ ඇස් තිබ්බෙ යොහාන් දිහාවට.. ඒකත් අමුතු කරන්.
" අනේ එහෙම නෙමේ මිස්. මං මෙයාව පරිස්සම් කරන්නෙ දරුවෙක් වගේ.. ඔය හිටියට මොලේ කලදක් නෑ "
යොහාන් මිස්ට කිව්වත් භාශ්වරසිංහ හිනා උනේ කටකොනකින්. ඒක මහ විකාර හිනාවක්නෙ.. ඒ හිනාව ඇතුලෙ ලොකු කම එකයි.
කොහොමහරි අවසානෙදි යොහාන් ආයෙම ගෙදර යන්න තීරණය කරා.. මම මිස්ලත් එක්ක යන්න තීරණය කරා.. මට ලොකු අම්මගෙ කඩේ ලගට එන්න කියලා යොහාන් යන්න ගියෙ මිසුත් යමු කියලා යන්න යද්දි.. ඒ එක්කම භාශ්වරසිංහත් ගියා.. ඒත් මං විතරක් ඉතුරු උනා.. මං හිටියෙ වෙනම කල්පනාවක.. මං එයාලා එක්ක යන්නම ඕනෙද?
" දවසම මෙතන ඉන්නද කල්පනාව? "
කල්පනාවෙ හිටපු මගෙ මූනට එබෙමින් එයා ඇහුවෙ දරුවවත් වඩාගෙන..
" අහ්හ්.. නෑ ස්.සර් මේ.. අහ්හ්හ් "
ගොත ගහමින් එයාට කිව්ව මම හැදුවෙ එන්න. මගෙ ඔලුව කොච්චර විකාරද කියනවනම් ඒ ලග තිබ්බ පඩි ගැට්ටෙ කකුල වැදුනෙ මාව එතනම වැටෙන්න යද්දි.. ඒත් මගෙ වැලමිට ලගින් ඇදිල ගියා.. එයා මාව දෙවනි වතාවටත් ඉනෙන් අල්ලලා ගත්තම ආයෙම මගෙ හුස්ම හිර වෙන්න ආවා..
" ලමයි දෙන්නෙක් බලන්න මට බෑ.. "
දරුවව එක අතකින් වඩාගෙන ඉන්න එයා අනික් අතින් මාව ඒ ඇගට තුරුල් කරන් මට කිව්වම ඇති උන ලැජ්ජාවටම මං දුවන් ආවෙ පංසලෙන් එලියට.
මොනවද මට මේ වෙන්නේ.. මම මොන ලෝකෙද දෙයියනේ ඉන්නේ.. සිහියෙන් හිටපන් අභිරූ.. සිහියෙන් හිටපන්.. අකිල අයියට කෝල් එකක් ගත්තොත් හිතවත් නිදහස් වේවි.. එහෙම හිතන් මං ගත්තෙ අකිල අයියට කෝල් එකක්..
" අයි.."
" මං වැඩ සුදූ රෑට ගන්නම් "
එයා ෆෝන් එක තිබ්බා. ඇත්ත. මටත් පිස්සුනෙ මේ දවල් ඒ මනුස්සයට වද දෙන්න.. පව් එයා වැඩ ඇති..
" ආ අභී උබේ බෑග් එක.. කරුනාකරලා පරිස්සම් වෙයන් හරිද. මමත් නැතුව උබ ඔය යන්නෙ පලවෙනි වතාවට.. "
මගෙ අතට බෑග් එක දීලා යොහාන් කිවුවම මං ඌව එහෙම්මම බදාගත්තා.. ඒත් විනාඩියක් යන්න නෑ අපි දෙන්නම ගැස්සිල ගියා..
පීක්ක්ක්ක්ක්...
ඉවරයක් නැතුව හෝන් එක උඩ නැගන් හිටියෙ බහිරවයා. ඒ සද්දෙට මං යොහාන්ගෙන් මිදුනම ඒ පමාවට හෝන් පාරත් නැවතුනා.. මේ මනුස්සයට මක් වෙලාද?
යන ගමන ගැන ලොකු අම්මටත් කිව්ව මං එහෙම්මම ගිහින් වාහනේ පිටිපස්සට නැග්ගා... යොහාන්ටත් අත වනලා පස්සෙ මං ජනේලෙට ඔලුව තියාගත්තා..
මට ඒසී වාහන වල යන්නම බෑ.. වමනෙ යන්න එනවා.. මට ඕනෙ එලියෙ හුලග මූනෙ වදින්න.. ගමනක් ගියත් මං යන්නෙ එක්කො වීල් එකක නැත්තම් යොහාන්ගෙ බයික් එකේ.. මොකද ඒ හුලග විදගෙන මං යන්න පුදුම තරම් ආසයි.. විනාඩි හතලිස් පහක් පනහක් විතර ගියා.. මට දැන් දැන් උගුරට එන ගතියක් දැනුනා වගේම ම්ස්ං කලේ නලලත් අල්ලන් ජනේලෙට ඔලුව තියාගත්ත එක.. ඒත් ඒ පමාවට මං ආයෙම ඔලුව ගත්තා.. ශටර්ස් ඉබේටම ඇරුණා.. ඒ එක්කම මං ඉස්සරහා කන්නාඩියෙන් දැක්කෙ එයාගෙ ඇස්. ඒකත් මං දිහා බලාගෙන ඉන්න එයාගෙ ඇස්.. මට අමාරුයි කියල දැක්කද දන්නෑ.. මන්දා..
මං උත්සාහ කලේම ඒ ඇස් මග අරින්න.. ඒත් අනේ මන්දා සැරෙන් සැරේටම මටත් කන්නාඩිය දිහා බැලුනා.. ඒ හැම සැරේකම එයත් කන්නාඩියෙන් මගෙ දිහා බලන් උන්නා.. ආයෙනම් බලන්නෑමයි කියල හිතපු මං ජනේලෙන් එලිය බලාගත්තා.. අකිල අයියා අරහෙ මං වෙනුවෙන් අපි වෙනුවෙන් නැහෙද්දි මං බැල්මකින්වත් ඒ මනුස්සයට වංචා කරන එක පව්.. එහෙම හිතාගෙන මං එලිය බලන් ගියා.. හැබැයි,
හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට සිතුවිලි කිති කැවුනා
එකපාරට ආදර මල් සුවඳක් දැනුණා
මදහාස නගා ඈ හොරැහින් වගෙ බැලුවා..
❤️ දැම්ම නේද සිංදුවක් 🤭
❤️ හොරැහින් බැලුවද.... 👀
❤️ අනික් කතා දෙකට කෙසේ වෙතත් මට මේකට කමෙන්ට් ඕනමයි.. මට මේ කතාව ගැන ඔයාලට දැනෙන්නෙ කොහොමද කියල දැනගන්න ඕනෙමයි... ම්ම්හුක්
❤️ බහිරවයියා ගැන මොකත හිතෙන්නෙ.. පවුල් පංසල් කාරයෙක් තමා ඔව්.. 🙈
❤️ අකිල අයියනම් අනාගතේ වෙනුවෙන් වැඩ. අපි නෙමේ අභී තමා කියන්නෙ..
❤️ අභී අහිංසක වැඩිද 🥺